Posts

Showing posts from June, 2023

මං කවදාහරි එන්නම්..!

Image
 ආදරේ වෙනුවෙන්  පොඩි හිස්තැනක් තියන්න.. මං කවදාහරි එන්නම් එතන කවියක් ලියන්න..! ❤️

බිදුණු මුත් හදවත තවම මිය නොගියේද..?

Image
 මම ගවු ගණන් දුර අදත් තනිවම ඇවිද යමි.. අහම්බෙන් මෙන් කොතැන හෝ  ඔබ මුණගැසෙන සන්ධියක නතර වෙමි..  තවම දිදුළන ඇස්ය.. සැගවුවත් මතුවෙන හීන් ලස්සන සිනහවය.. නොකියනා බොහෝ දේ හැඟීමෙන් කියන මුහුණය.. මා කෙරේ වන ප්‍රේමයෙන් පවා ඔබ තවම එදා මෙන්මය..  හිතවත, ඔන්න.. දෙදරුම් දෙමින් විදුලි ගිගුරුම් මතුවෙයි.. හදිසියේ මෙන් අකාලික වැස්සක් ඇද වැටෙයි.. මහා සුළි සුළගකින් හදවතේ සිවු කොන ඇවිස්සෙයි..  ඉතින්.. ප්‍රේමය රිදුම් දෙයි..!  ඔබේ අත අතහැරුණු තැන ඇති මහා හිස්කමකි.. නේක වූ ඔසු ගල්වා බැලූවද සුව නොවෙති.. අකාලික වැස්සෙන් තෙත බරිත දුබල වූ හදවත බිදුණු මුත් තවම මිය නොගිය බව මේ රිදුම් පවසති...!  මම යළිත් ආපසු හැරෙමි.. කල්පනා ලොව ඔබව හමුවුණු ප්‍රීතියෙන් වෙලෙමි.. රිදුම් සගවනු රිසිව දෑස්වල තෙතමනය මකමි.. වෙදැගිල්ල සැරසූ රන් පැහැති මුදුව තවම තදදැයි බලමි..  මේ රැයෙත් මෙහි මහ වැස්ස ඇද වැටෙයි.. අහස ගුගුරා විදුලි එළි පතිත වෙයි.. තැපැල් කර යැවිය යුතුදැයි නොදැනම  මම ඔබට ලිපියක් ලියමි..!  " ඉතින් ඔබ සුවෙන්ද.. බිදුණු මුත් හදවත තවම මිය නොගියේද..  හිතවත..  ප්‍රේමය තවමත් එක...

නැවතුමක් නැති ඇවටිල්ලක්ය ඔබගෙන්..!

Image
 මටත් කවියක්  ලියා දෙන්නැයි නැවතුමක් නැති  ඇවටිල්ලක්ය ඔබගෙන්..!  වරුවක්ම ගෙවුනත්  කඩදාසි පිටුව හිස්ය..!  ' හිතවත ' කියා පටන් ගන්නද ' පෙම්වත ' කියා පටන් ගන්නද..?  කෙසේ හෝ පටන්ගත් පසු ,  '' මෙතෙක් කල්  මම ලියූ කවි, ඔක්කෝම ඔබටයි..!  ''  කියා පමණක් ලියා නිහඬවම ඉන්නද..? - 𝙳𝚒𝚗𝚞 - 29.05.22.

මගේ ගැන, නුඹ ලඟ...!

Image
 අහම්බෙන් නුඹ මුණගැසුණ  මුල්ම තත්ත්පරයෙන් පසුව ඉතා ක්ෂුද්‍ර හැඟීමක් දැනේ මට  මගේ ගැන, නුඹ ලඟ...!  නිතර නුඹ මඟහරිනා ඇස්ය, නුඹ ගැන නොරිස්සුම් වදන්ය, ලෝකයට පෙනෙන්නට නුඹ ගැන වගක් නැති මමය..!  එහෙත් ප්‍රේමය උතුරයි, නිතර හදවත සසලයි නුඹට ඇති දුර දැනෙන විට තව තවත් ක්ෂුද්‍රව හැකිලෙයි..!  පෙමින් පිරි හදවත හැරෙන්නට  කිසිවක්ම නොමැතිව  නුඹේ ලඟ මං තව තව දිගින් දිගටම හැකිලෙයි..!  හිතවත,  නුඹට කිසිවක් නොහැගෙයි, නුඹට කිසිවක් නොදැනෙයි..! - 𝙳𝚒𝚗𝚞 - 31.05.2022.

තාත්තගේ පොඩි කෙල්ල මං..!

Image
 තාත්තේ මේ නගරේ ඇවිත් කොච්චර කල් උනත් තාම සුව පහසු නැති  හැඟීමක් තියෙනවා..!  වෙලාවට පටන් ගෙන අවේලාවේ ඉවර වෙන වැඩපලේ රස්සාව.. තාත්තා හිටියනම් හූල්ලයි.. බැරි බරත් මං දැන් අදිනවා..!  බෝඩිම, යකඩ ඇඳ, රෙදි පෙරදි පුරවපු කාඩ්බෝඩ් පෙටට්ටිය... ගෙදරට තියෙන දුර  දෙගුණ තුන්ගුණ වෙලා දැනෙනවා..!  පැය තුන හතරකට විතරක්  ජනේලෙන් පේන  තිත්ත කළුවර රෑ අහස හරියටම මගෙ පාළු හිත වගේ, තරුවක් වත් නැති පාළුවට දකිනවා..!  නිදිමත තෙහෙට්ටුව  යන්න කලියෙන් ඇහැරිලා  එළියක් දකින්නත් නැතුවම ආයේ වැඩපලට දුවනවා..!  තෙල් වැඩි මිරිස් වැඩි පුත්තලම් ලුණු දැකලා නැති ගණන් අඩු බත් එකක් බඩගින්න නිවනවා.. වැඩපලේ කහට එක අඩුපාඩු මකනවා..!  හැඩට ඇඳුමක් අඳින්න නියපොතු පාට කරන්න ඉස්සර වගේ සුරඟන හීන නෑ දැන් ඔහේ පාරට බහිනවා..!  තාත්තේ, තව කොයි තරම් දේවල්ද.. මට අඬන්නට හිතෙනවා.. අඬලා අඬලත් ඉන්න බැරිනම් ගෙදර එන්නම හිතෙනවා...!  තාත්තගේ පොඩි කෙල්ල මං රැජිනක් වගෙයි හිටියෙත්.. අන්න ඒ ඉස්සර ගෙයි මුදුන් ලීය වගේ තාත්තා හිටපු  ලස්සන දවස් ඇස් මානේ මැවෙනවා..!  තාත්තේ... සමහ...

මං හොඳින් වග කියන කවියක්..!

Image
 ඉතින් තාමත් ඉඳලා හිටලා ඈ නිසා හිත පෑරෙනව ඇති.. එහෙම උනහම පුරුදු සුවදක් වඳ දිදී හිත උඩට එනවැති.. කප්පරක් දුක් මට දුන්න වග මතක් වී හිත කලබලෙන් ඇති.. මං හොඳින් වග කියන කවියක් ඉරිදා පත්තරේ කවි පිටේ ඇති..! - දිනූ - 2019. 06. 09

ප්‍රේමයේ ගිණි පුපුර..!

Image
 ඇමතුමක් ලැබිණි..!  " කාලෙකින් නේද.. අදුර ගන්න පුළුවන්ද..? "  සුමිතුර..! ප්‍රේමයේ ගිණි පුපුර ආයෙත් වරක් දැල්විණි...!  අතැරගිය නුඹ  ජීවමානව රැදී උන් මගේ හද කුටියේ කඳුළු උල්පත වියැලිණි..!  " එදා හරියට සමු දෙන්න මට බැරි උනා.. කොයිතරම් උත්තර නැති ප්‍රශ්න තිබුණද.. අපි වෙන්වෙමු..! අවුරුදු ගානකට පස්සේ උනත්,  මේ පාර හරියටම වෙන්වෙමු..! "  සුමිතුර..! පිළිතුරු දෙන්නටත් කලියෙන්, ප්‍රේමයේ ගිණි පුපුර ආයෙත් වරක් දැල්විණි..!  අතැර යන නුඹ  ජීවමානව රැදී ඉන්නා මගේ හද කුටියේ කඳුළු උල්පත වියැලිණි..!  - දිනූ - 2022/07/24

සින්ඩරෙල්ලාගේ මලගම..!

Image
 අතහැරුණු තැන තමයි අල්ලාගත යුතුව තිබුණේ තදටම..! කුමරුනි, සොයා ආවාට.., දැන් ඉතින් ඵලක් නැත ගම් නියම් ගම් පීරාන.. පහුවෙලත් ගොඩක් කල් මේ සින්ඩරෙල්ලාගේ මලගම..! 2022/10/08

මට මගෙම කවි තිබුණා..!

Image
 ඔබ අසා තිබුණා  කලකින් නුදුටු  මගේ කවි ගැන.. හිතවත, මට මගෙම කවි තිබුණා, ඒ ඔබ  මුණ ගැහෙන්නට ඉස්සර.. ඉනික්බිති, ඔබ මුණගැසුනු පසු, මගේ කවි ඔක්කෝම  ඔබ ගැන.. දැන් දැන් කිසිත් නැත නොදැන ලියුවා මිසක ප්‍රේමයට ඉදිරියෙන්  මිත්‍ර යැයි ලියන්නට බැරි තරම් හිස්ය මම..! 2020/12/03

ඔබටත් මතක් වෙනවද..?

Image
 දෙසැම්බර් තිස් එකට දවස් තව කීයක් ඉතුරුද.. ඒ කියන්නේ එතකොට  තවත් අවුරුද්දක්ම ඉවරද.. නිකමට හිතලා බැලුවොත් ඔබටත් මතක් වෙනවද.. අපිට අපි හමුනොවී  මේ යන්නේ කීවෙනි වසරද..? 🖤 2020/12/04.

සිසිර නිද්‍රාවක්ය ප්‍රේමය..!

Image
 ගියායින් පසුව ඔබ, සිසිර නිද්‍රාවක්ය ප්‍රේමය.. එහෙයින්, කාලාන්තරයකට පසුව වුව, තාමත් නොසෙල්වෙයි හදවත..!

මේ ශීත ඍතුවෙත් ආදරේ පතනවද..?

Image
 එකින් එක එකින් එක සුබ පැතුම් බලනවද නාඳුනන අංකයක් තියෙනවද හොයනවද නමක් නැති පැතුමකින් මගේ රුව මැවෙනවද මේ ශීත ඍතුවෙත් ආදරේ පතනවද..? 

හිත හිතා ලියූ කවි නැත මම..!

Image
 " කාලෙකින් දැක නැත  ඔබ ලියූ කවියක්..? " හදිසියෙන්මෙන් ඔබ ඇවිත් විමසයි..! පෙම්වත..! සමාවෙන්න.. ආයෙමත් සැරයක්  ආමන්ත්‍රණය වැරදුනා.. හිතවත..! ජීවතේ බොහෝ තැන් වල ඉතුරු උන එකම එක වරද එය.. හිත හිතා ලියූ කවි නැත මම අහම්බෙන් ලියවුනා මිස ඉදහිට..! - දිනූ -  07.02.21

හදවතක ලකුණක්..!

Image
 නුඹ ලියූ කවියක්  අකුරක් නෑර කියවමි.. ඇයට ලියුවක් උනත්  මගේ කරගෙන සැනසෙමි..  හදවතක ලකුණක් සටහන් තබා නික්මෙමි..! - දිනූ - 2020.05.16

ඇත්තටම, කොයිතරම් අමාරුද මේ තත්ත්පර..!

Image
 ආදරේදැයි ඔබ අසන විට නිතර පිළිතුර පැටලෙන,  " ඔව් " කියා කෑ ගසන හදවත ස්ථිරව තියෙද්දිත්, " නැහැ " කියා කියැවෙන..!  ඇත්තටම, කොයිතරම් අමාරුද මේ තත්ත්පර..! - 𝙳𝚒𝚗𝚞 - 21.05.22.

අතැරගත යුතුය කවිම පබදින හඳවත..!

Image
අතැරගත යුතුය කවිම පබදින හඳවත.. කොහොම මඟහැර ලිව්වත් එහි බොහෝ තැන් වල නොව අංශුවක් පාසාම නුඹ..! - දිනූ - 2019/06/15