මට පුදුමයක් නොදැනේ...!!
සමහර දවස් වල
හිරු කලින් පිබිදෙයි,
සුන්දරව දිලිහෙයි..
අදත් එහෙමයි..
"අනේ අර බලන්න.."
එදෙස පෙන්වා මම කියමි..
නුඹ නොපෙනෙනා සේ ඇවිදියි..!
නුඹ යනෙන මාවතේ
නොයෙක් පැහැ මල් පිපෙයි..
ඇල්බමයෙ මුල් පිටුවෙ ඇති
ඇහැල මල් පෙති පලසක දග කරන
කුඩා කල ඔබේ සේයාරුව සිහිව
මම මද සිනාවක් සලමි..
නුඹ, ඇහැල පෙති පොඩි කරන්
දිගින් දිගටම ඇවිදියි..!
"එහෙම ඉවුවොත් එයා හරි ආසයි"
අම්මා කියද්දි මතකයේ තියාගෙන
වැරදි වැරදී ඉගෙන ගනිමින්
නුඹට රස මසවුලු පිසිමි..
පිළිගන්නවා කුතුහලයෙන්
ආසාවෙන් බලාඉමි..
නුඹ වදනකුදු නොදොඩා
කා හමාරව නැගිටියි..!
"මට තනියි පාළුයි"
සමහර දවස්වල කලුවර සවස්වල
නිකමට වගේ කියැවෙයි..
" හාදුවක උණුසුමක් හෝ
නොවෙතත් කමක් නෑ..
තුරුළු වී ඉන්න ඇත්නම් " මට සිතේ..
ඉතින් මම මහා බර සුසුමක් හෙලමි
නුඹට කිසිවක් කිසිදාක නොදැනේ..!
ඉනික්බිති රාත්රිය එලබේ..
නුඹ පුරුද්දට මෙන් වැඩි වෙලාවක්
දින පොත් අතර ගැවසේ..
අදත් අලුතින් කවියක්
ඔබ එහි ලියන බව සිහිවී
මොකක්දෝ හිස් හැඟීමක්
මගෙ හිතේ මතුවේ..
නිදන්නට පමා වීම නරකය
හෙට නුඹේ බත් පත පමා වූවොත්
දුක හිතෙන්නේ මටය..!
තදින් දෑසම පියාගෙන නිදමි..!
නුඹට රාත්රිය නොදැනේ..!
සුහද,
ඉතින් දැනටත්
ඈම පමණක් සිත දරාගෙන
ශිශිර නිද්රාවකය නුඹ..!
මට පුදුමයක් නොදැනේ..!!!
- 2023/03/22 -

Comments
Post a Comment